ආපෝ, තේජෝ, වායෝ, පඨවි,ආකාශ යන පංච මහා භූතයන් (ධාතු) අතර සමතුලිත බව පුද්ගලයෙක්තුල මෙන්ම පරිසරය තුළ ද පිරිපුන් නිර්දෝශී බවක් ඇති කරයි. මෙය “වාස්තු” ලෙස අර්ථ දැක්විය හැකියි. තවන් සරලව පැවසුවහොත් වාසයට සුදුසු හෙවත් මිනිසාගේ වාසයට ඉතාම යෝග්‍ය ස්ථානය ලෙස අර්ථ කථනය කළ හැකියි.

පරිසරයතුල ඇතිවන පංච මහා ධාතුන්ගේ අඩුවැඩි වීම  හා අසමතුලිතවීම් කුනාටු, නියඟ, ජල ගැලීම්, භූමිකම්පා වැනි පරිසර තත්ව නිර්මාණය කරණ අතර, පුද්ගලයෙක්තුල  විවිධාකාර ශාරීරික හා මානසික ගැටලු නිර්මාණය කරයි. පංච මහා  භූතයන්ගේ සමතුලිතතාවය ඇති කිරීමට වාස්තු පිළියමක් ලෙස යොදාගත හැකියි. නිවසක මෙම ජෛව ශක්ති ක්‍ෂේත්‍රය මැනවින් පවත්වා ගැනීමෙන් රෝග පීඩා ආපදා වලින් තොර සතුට, ධනය, නීරෝගීබව සහිත ජීවන ගමනක් වාස්තු මගින් ලබාගත හැකියි.

මහා වාස්තු ශිල්පය ලොවට දායාද කළේ විෂ්ණු දෙවියන් වන අතර විශ්වකර්ම එම ශිල්පයේ දේව පැතිකඩ ලෙස සදහන් වේ. මහා විෂ්ණු දෙවියන් විසින් ධ්‍යාන තල වලදී හිමාලයේ භාවනා යෝගී සෘෂි උතුමන් හට ධ්‍යානයන් තුලදීම මෙම මහා වාස්තු සිද්ධාන්ත ධර්මයන් ලබා දුන්බව ඉපැරණි මතයයි. වාස්තු ශිල්පයේ මුල් ආරම්භය මහා වාස්තුවන අතර පසු කාලීන වශයෙන් එයින් බිදී ගිය කොටස් වාස්තු ශිල්ප ගුරුකුල ලෙස විකාශනය විය.

දැනට අවුරුදු 5000 කට වඩා ඉපැරණි වාස්තු ශිල්පය හා නූතන වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය පිළිපද සම්බන්ධතාව අප විසින් මුලින්ම තේරුම් බේරුම් කර ගත යුතුව ඇත. රාවණා කාලයේ සිට දේශීය වාස්තු ඉතිහාසයක් පැවති බවද අමතක නොකල යුතුයි.

වාස්තු ශාස්ත්‍රය නොසලකා නූතන වාස්තු විද්‍යාව පමණක් උපයෝගී කර නිවෙස සාදා එහි පදිංචි වීමේ ප්‍රථිඵල වැඩිකල් නොගොසින්ම තමන්ට අත් විදින්නට සිදුවන්නේ තමාද නොදැනුවත්වමයි. තමන්ට විශල මූල්‍යහානි, ජීවිතහානි, රෝගීබව, පවුල් විනාශවීම්, දරැඵල නොලැබීම් සිදුවී ඇති බව දැනගන්නා විට ප්‍රමාදවී ඇති බව වැටහෙනු ඇත. 

ජ්‍යෝතිෂ පදනමක් මත ඇති ඉපැරණි වාස්තු ශාස්ත්‍රය නූතන ගෘහ නිර්මාණ ශිල්පයට එක්කර, සතුටින් පිරි, සෞභග්‍යමත්, සෙදුරැ නිවහනක් ඉදිකර ගැනීම සදහා   වාස්තු ශාස්ත්‍රඥයෙකු ගේ සහය ලබා ගැනීම නුවණැති ක්‍රියාවක් වේ..

නිවසක් ඉදිකිරීමට ප්‍රථම භූමියක් තෝරා ගන්නා අවස්ථාවේ සිටම මේ පිළිබඳ  සැලකිලිමත් විය යුතුයි. තමා සතු ඉඩම හෝ මිලයට ගැනීමට අදහස් කර ඇති ඉඩමේ හැඩය මෙන්ම උතුරට සහ දකුණට දිශාගත වීමද වැදගත්ය. ප්‍රධාන දිශා හතර නිවාස ගොඩනැගීම හෝ ස්ථානගත කිරීමේදී වැදගත්ම සාධක වේ. අනෙක් දිශා වැදගත්වනුයේ ඉන් පසුවයි. පර්චස් 10ක ඉඩමක් ගත්තත් අක්කර 100ක ඉඩමක් ගත්තත් මේ සිද්ධාන්ත දෙකේ ශක්තිය ඒ ඒ ඉඩම් වලට සාපේක්ෂව ලැබෙනු ඇත.

ඉඩමේ විශාලත්වය හෝ කුඩා බව නොව වැදගත් වනුයේ ප්‍රධාන ශක්තීන් දෙක වන හිරුගේ ශක්තිය හා චුම්භක ශක්තිය යෙදෙන ආකාරය පිළිබදවයි. මිනිසා සහ නිවස යා කරණ පාලම වනුයේ වාස්තු ශාස්ත්‍රය නම්  වාස්තු ශාස්ත්‍රයට අනුව නිවස ගොඩනගනවා ද? නැද්ද ? යන්න ඔබට භාරය.

වාස්තු විද්‍යා  ශාස්ත්‍රය තේරුම් ගැනීමට විශ්ව ශක්ති රටාව හා පරිසරය නිවැරදිව තේරුමි ගත යුතුයි. ගොඩනැගිලි තැනීම ඇරඹිය යුත්තේ ඉන් පසුවයි.

  • නිවසට ඊසාන දෙසින් පැමිණෙන සුභ ශක්තීන් ඇතුලට පැමිණ නිරිත දීශාවේ තැන්පත් වියයුතුවේ. නිදහසේ භාධකයකින් තොරව ඉඩමට හා නිවසට සුභ ශක්තීන්ට පැමිණිය හැකිවනසේ ඉඩම හා නිවස පිහිටා තිබිය යුතුවේ.
  • නිවසේ උතුරු දිශාවෙන් ආකර්ෂණය වන චුම්භක ක්‍ෂේත්‍රය දකුණු දිශාවෙන් විකර්ෂණය වේ. නිවසේ හා ඉඩමේ  උතුරු සහ දකුණු දිශාවල් නිවැසියන්ට ඉතාමත් ප්‍රභල ලෙස බලපායි.  උතුරින් හිස් අවකාශයක් ඉඩමේ තැබීමට සැලසුම් කළ යුතුමවේ.
  • නැගෙනහිරින් ලැබෙන ධන සූර්ය රශ්මිය බටහිර දිශාවෙන් සෘනාත්මක ශක්තියක් ලෙස බැසයයි. උතුරින් සේම නැගෙනහිරින්ද ඉඩමේ හිස් අවකාශයක් තැබීමට වගබලා ගත යුතුමවේ. 
  • විශ්වය පුරාම ඇති ගුරුත්වාකර්ශණය නිවසක් ගොඩනැගූ විට නිවසේ හරි මැදට යොමු වනුයේ විද්‍යාත්මක ලෙසය. පිරිමීඩය ඉහල ඇති  තුඩ මගින් පිරිමීඩය තුලට එම ශක්තිය ලැබුනු අතර නිවසේ වහලය ඔස්සේ ලැබෙන මෙම බලය නිවසේ මැදට කේන්ද්‍රගත වන්නේ ගුප්තමය ලෙසය මෙම  ගුප්තමය අභිරහස් ප්‍රදේශය බ්‍රහ්මස්ථානය ලෙස හඳුන්වන අතර එම කේන්ද්‍රීය ස්ථානය පීඩා නොකිරීමට වග බලා ගත යුතුයි.
  • ඉඩමේ හෝ නිවසේ ඊසාන හා නිරිත කෝණ වල වැසිකිළි කිසිම විටකඉදි නෙකළ යුතුයි.එසේම නිවසේ හරි මැද බ්‍රහ්මපාදයේ සහ  උතුර හා දකුණ යා කරණ අක්ෂ දෙක හරි කෙළින්ද එවැනි ඉදිකිරීම් නොකළ  යුතුයි.
  • වාස්තු දිශා චක්‍රයට අනුව ගිණිකොණ සහ වයඹ යන දිශා දෙක පමණක් මුළුතැන්ගෙය සදහා සුදුසු වේ. ඉන් ගිණිකොණ වඩාත්ම සුදුුුුුුුුුුුුුුුුුුුුසු වේ.වාස්තු දිශා චක්‍රයට අනුව වෙනත් කිසිම දිශාවක් හෝ නිවස මධ්‍යයේ හෝ  මුළුතැන්ගෙය ස්ථානගත නොකළ  යුතුයි.එසේම අතිරේක  මුළුතැන්ගෙය පිහිටුවීමේදීද සැලකිය යුතු අතිවාර්ය කරුණු කිහිපයක්ම වේ.
  • නිවසක අහසට විවෘත වීම් (Open to sky ) පිහිටුවීව වඩාත්ම යහපත් වනුයේ උතුරට, ඊසාන හා නැගෙනහිරටයි. නිරිතට පිහිටුවීම ඉතාමත් දෝෂ සහිත වෙි.
  • නිවස තුළ කිසිම දිය ඇල්ලක් හෝ පොකුනක් නිර්මානය කිරීම සුදුසු නොවන අතර, එයට සුදුසු වන්නේ නිවසින් පිටත  උතුර, ඊසාන හා නැගෙනහිරටයි.
  • වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසේ ප්‍රධාන දොරටුව ස්ථානගත කිරීමේදී නිවැරදි සුදුසුම ස්ථානයේ එය පිහිටුවීමෙන් එම නිවැසියන්ට ධනය, සතුට, වාසනාව,ආකර්ෂණය, සෞභාග්‍ය ලගාවන බව සඳහන්වේ.

වාස්තු විද්‍යා තාක්ෂණය තේරුම් ගෙන ඉදිකිරීම් කළ යුත්තේ ඉන් පසුවයි. ඉඩමක හැඩතල දෙස බලා කොහේ හෝ තිබෙන සැලසුමක් අතහැරීමට ඕනෑම කෙනෙක්ට කළ හැකිය. පරිගණකයේ බොත්තම් ටික එබූවිට නානාප්‍රකාර සැලසුම් ඕනෑතරම් එළියට පනී. නිවස ඇතුලේ පොකුණු දමන්නයි, තරප්පු පෙළවල් ගේ මැද තනන්නයි, මුළුතැන්ගෙය උතුරට හෝ ඊසානට අටවන්නයි, ගෘහමූලිකයාගේ කාමරය ගිණිකොන හෝ වයඹ ඉදිකරන්නයි, ජල ටැංකිය ගේ මැද වහලේ එල්ලන්නයි එපමන මහන්සි වීමට අවශ්‍ය නැත. මෙවැනි දේ වලින් පදිංචි වූ පළමු අවුරුද්දේම එහි ප්‍රථිඵල විදීමට ගෙහිමියාට සිදුවේ.

මෙවැනි ගෙවල් හරිම හැඩයි. ඇත්තටම කලාත්මකයි. එහෙත් විපාකය අනිවාර්යෙන්ම ගෘහ මූලිකයා නිශ්ශබ්දවම විදිය යුතුයි. නිවසක් ඉදිකිරීම නිවැරදිව සිදු කිරීම සඳහා හරි ක්‍රමයක් තිබෙන බව ඔබ දැනගත යුතුයි. නිවැරදි තාක්ෂණය හඳුනාගත යුතුයි.

ඉඩමක් මිලදී ගැනීමේ සිට ප්‍රධාන ගේට්ටුව ස්ථානගත කිරීම, නිවස ඉදිකිරීම, ප්‍රධාන දොර ස්ථනගත කිරීම, පූජා කාමරයේ පිහිටුවීම්,ඉදිරිපස මිදුල, ළිද කැපීම,  නිවස ඉදිරිපිට ශාක සිටුවීම, නිවසේ පදංචිවීම හා නිවසේ වාසය කිරීම දක්වා මෙවැනිම වූ බොහෝමයක් දේ සදහා කරුණු කාරණා රැසක්   වාස්තු ශාසත්‍රයට අනුව මනාවට පෙන්වාදී ඇත. ශ්‍රී නිවස , නැතහොත් ශ්‍රියා කාන්තාව වැඩවසන නිවසක් තැනීමේදී ඉහත කී කරුණු පිළිබද අවධානය යෙමුකළ යුතු වේ.මේවා එතරම් පහසු නැත.

එසේම අප අවධානය යොමු කළයුතු ඉතාමත් වැදගත් වූ තවත් කාරණයක් වන්නේ , නිවසක් ඉදිකිරීමෙන් පසුව හෝ නිවසක් මිළදී ගැනීමෙන් පසුව නිවසේ යම් යම් අවශ්‍යතාවයන් මත අලුත්වැඩියා කටයුතු වලදී නිවසට කොටස් එකතු කිරීම හා කොටස් ඉවත් කිරීම පිළිබඳවයි. මෙවැනි දේ කිසිවිටකත් හිතුමතයට සිදුනොකළ යුතුයි. වාස්තු සිද්ධාත්ත පිළිබඳ නොසැලකිලිමත්ව ඔබ නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු  කිරීමෙන් ඇතිවන්නා වූ වාස්තු දෝශයන් හරහා සිදුවන නොයෙකුත් දුර්විපාකයන්ට මුහුණ දීමට සිදුවනුයේ ඔබේ පවුලේ සියලු දනාහටයි.

වාස්තු වලට අනුව ඉදිකරණ ලද නිවසක කොටසක් ඉවත් කිරීමේ දි හෝ එකතු කිරීමේ දී නිවසේ දිග පළල අනුපාතයන් ගැන සැලකිලිමත් විය යුතුම වේ. නොයෙක් හැඩ ස්වරූප ඇති ගොඩනැගිලි තුලින් ශක්ති කිරණ ගමන් කිරීමේදී ශක්ති කිරණයන්ගේ සංඛ්‍යොත වෙනස්කම් වලට භාජනවීම නිසා අපට බලපාන ප්‍රතික්‍රියා ඇතිවිය හැකි බව නූතන බටහිර විද්‍යාවේ පර්යේෂකයන් පවා සනාථ කරඇත. සාම්ප්‍රධායික වාස්තු ශාස්ත්‍රයට අනුව එකොලොස් පොරොන්දමට හෝ ස්වර්ණමය අනුපාතයට යටත්ව ඉදිකරණලද නිවසක කොටස් ඉවත් කිරීමක් හෝ එකතු කිරීමක් තුලින් නිවසේ දිග පළල අතර හෝ නිවසේ ගෘහාංගවල දිග පළල අනුපාතයන්ගේ ඇතිවන්නා වූ වෙනස් වීම නිසා හෝ නිවසට ලැබෙන අන්තරීක්ෂ ශක්තිය වියවුල් තත්වයට පත්විය හැකියි. 

එබැවින් වාස්තු ගැන සලකා බලා කටයුතු කිරීමෙන්, ඉහත සඳහන් කළ ආකාරයේ අනිසි තත්වයන්ගෙන් මිදී ඔබේ නිසසේ අලුත්වැඩියා කටයුතු කරදරයකින් තොරව සිඳුකරගත හැකිවේ.  

 ඔබේ  ගෘහ ජීවිතය  සාර්ථකව ගත කිරීමට නම්  ඔබේ  ගෘහය දෝෂයන්ගෙන් තොරව නිසි අයුරින් ගොඩනගාගත යුතුයි. දුක් විදින්නට කැමතිනම් කිසිම දෙයක් නොතකා නිවස ගොඩනගා ගැනීමේ වගකීම ඔබ සතුවේ.

  ගුප්තවුවත් මෙවැනි ශාස්ත්‍රයන් අවුරුදු සිය දහස් ගණනක් නොනැසී පැවතී ඇත්තේ කුමක් නිසාදැයි කියාවත් බුද්ධිත් මිනිසුන් වශයෙන් අප සිතා බැලිය යුතු නොවන්නේ ද?